Sunday, April 13, 2014

ලොව ප්‍රථම හෙලිකොප්ටර් හෝටලය - හොටෙලිකොප්ටර්

සෝවියට් Mil V-12 දැනට ලෝකයේ පවතින විශාලතම හෙලිකොප්ටරය වන අතර ඉන් යානා 02 ක් පමණ 1960 වසරේ දී නිපදවන ලදි. මේ වන විට එහි නවීකරණය කරන ලද තවත් යානයක්, හොටෙලිකොප්ටරය නමින් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වන අතර එය සත්‍ය තොරතුරක් නොවුනද එම සංකල්පය ඉතා සිත් ගන්නා සුළු එකකි. 








ලෝකයේ අරුම පුදුම වායු බැලූන


ලෝකයේ පැරණිතම සහ සාර්ථකම පියාසර තාක්ෂණය ලෙස උණුසුම් වායු බැලූන හඳුන්වාදිය හැක. එලෙස ආරම්භ වූ වායු බැලූන තාක්ෂණය වර්තමානය වන විට විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදා ගනී. එහිදී අතීතයේ භාවිතා කරන ලද උණුසුම් වායු බැලූන තාක්ෂණය මේ වන විට අරුම පුදුම නිර්මාණ සඳහා භාවිත කරයි. එලෙස නිර්මාණය කරන ලද මනරම් වායු බැලූන නිර්මාණ කිහිපයක් මෙම ඡායාරූප වල දැක්වේ. 












ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කෙයාර්ස් ආසියාවේ වගකිවයුතු ව්‍යවසායක සම්මානයට පාත්‍රවෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares)  ආසියාවේ විශේෂිත ආයතනික සමාජ වගකීම් අංශයේ සෞඛ්‍ය අභිවෘද්ධිය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීය. එම උත්සවය  නවදිල්ලියේ ජේ.ඩබ්ලිව් මැරියට් හෝටලයේ දී පසුගියදා පැවැත්විණි.

ආසියාවේ වගකිවයුතු ව්‍යවසායකයින් (Enterprise Asia) යනු කලාපයේ ව්‍යවසායකත්ව සංවර්ධනය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයකි.ආසියාවේ ව්‍යාපාරික හා තිරසාර  සංවර්ධනය, පරිසර හිතකාමී හරිත නායකත්වය, වගකිවයුතු පුද්ගල ආයෝජන,ආයතනික පාලනය, සෞඛ්‍ය අභිවෘද්ධිය ,සමාජ සවිබල ගැන්වීම, ආයතනික සමාජ වගකීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.

ශ්‍රීලංකන් කෙයාර්ස් 2003 වසරේ ආරම්භ කිරීමත් සමඟ ළමුන්ගේ සුභසාධනය , ළමා සෞඛ්‍ය හා අධ්‍යාපනය පිළිබඳව පුළුල් අවධානයක් යොමුකර ඇති අතර පසුගිය දශකය මුළුල්ලේම සමාජ සේවා වගකීම් ගණනාවක් දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් සිදු කරන ලදී.

2013 වසරේදී ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ළමා සෞඛ්‍ය සංවර්ධන වසර ලෙස නම් කිරීමත් සමඟ රජයේ සෞඛ්‍ය අරමුණ සාර්ථක කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදෙන ලදී. එහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ අතර ළමා සෞඛ්‍ය ,සහශ්‍ර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ළදරු මරණ අවම කිරීම ළමා හා මාතෘ සෞඛ්‍ය වර්ධනය,  සහ අනෙකුත් සමාජ අවශ්‍යතාවයන් වන එනම් විශේෂිත අවශ්‍යතාවන් ඇති දරුවන් සුවපත් කිරීම , හෘද රෝග වැළැක්වීම ආදී  ව්‍යාපෘති රාශියක් සිදුකරන ලදී.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජාතික ගුවන් සේවයේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් විශේෂිත අවශ්‍යතාවන් ඇති දරුවන් සඳහා දීප ව්‍යාප්තව වැඩසටහන් රාශියක් මේ වන විට සිදුකර ඇති බවයි. තවද විවිධ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ශිෂ්‍යත්ව වැඩමුළු සහ සම්මන්ත්‍රණ යනාදියට ප්‍රමුඛත්වයක් ලබාදී ළමුන්ගේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා  ද ශ්‍රීලංකන් කෙයාර්ස් කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්හ. 2003 වසරේ ආරම්භ කරන ලද ශ්‍රීලංකන් කෙයාර්ස් මේ වන විට සිය 10 වෙනි සංවත්සරය සමරන අතර ඊට සමගාමීව සුවිශේෂී වැඩසටහන් රාශියක් රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් බහුවිධි පහසුකම්වලින් සමන්විත ළමා මනෝ චිකිත්සක වාට්ටුක් ඉදිකිරීම ද මේ වන විට ශ්‍රීලංකන් කෙයාර්ස්  ආරම්භ කර තිබේ.එය 2013 වසරේ මාර්තු මාසයේදී ආරම්භ කල අතර 2014 වර්ෂයේ මුල් භාගයේදී සම්පූර්ණ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් යොදා තිබේ.ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 8 කි. මෙය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද පළමු ළමා මනෝ චිකිත්සක වාට්ටුව ලෙසද ඉතිහාසයට එක්වනු ඇත.

තවද ශ්‍රීලංකන් කෙයාර්ස්  විශේෂිත ශෛල්‍යකර්ම සඳහා අවශ්‍යතාවන් ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගත වීමේ දී නොමිළේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම් වලට අමතරව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී විශේෂිත ආසන පහසුකම්, රෝද පුටු සහ සුව පහසු ආසන ලබාදේ. ඊට අමතරව ඔවුන්ගේ විගණන කටයුතු සිදුකිරීම සඳහා ද සහයෝගය ලබාදෙනු ලැබේ. තවද විවිධ රෝග සහ  විශේෂ අවශ්‍යතාවන් ඇති දරුවන් වෙනුවෙන් වැයවන රෝහල් ගාස්තු සඳහා මූල්‍යමය සහයෝගය හා ඔවුන්ව දේශීය රෝහල් සඳහා යොමු කිරීම සඳහා ද ශ්‍රීලංකන් කෙයාර්ස් කටයුතු කරයි.

එසේම ශ්‍රීලංකන් කෙයාර්ස්   දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් CSR ව්‍යාපෘති  රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර සමාජයේ ඇති ආකල්ප වෙනස් කිරීම උදෙසා උපතේ දී හා ඊට පසු අවස්ථාවන් වලදී පාලනය කල නොහැකි ලෙස අබාධිත වන පුද්ගලයන් කෙරෙහි ඇති සමාජ ආකල්ප වෙනස් කිරීමට ද කටයුතු කරනු ඇත. එහිදී මෙහි පළමු දැනුවත් කිරීමේ වැඩසටහන පියාසර සේවා පුහුණු ශ්‍රවණාඝාරයේදී පියාසර සේවා කළමණාකරන මණ්ඩලය, උපදේශකවරුන්, කාර්යමණ්ඩලය සහ ගුවන් මැදිරි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

තවද ශ්‍රීලංකන් කෙයාර්ස් ගුවන් මැදිරි කාර්යමණ්ඩලය සඳහා සමාජ සත්කාරක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් උපදෙස් හා මඟ පෙන්වීම් ලබාදෙන ලදී. රෝගි දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳව සහකම්පනයක් ඇති කිරීම සහ ඔවුන් පිළිබඳව ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම මෙම සමස්ත වැඩපිළිවෙලේ අරමුණයි. තවද මෙරට විශේෂිත අවශ්‍යතාවයන් ඇති දරුවන්ගේ ව්‍යාපෘති සඳහා ආධාර වශයෙන් 2013 වර්ෂයේ දී  ලෝක ප්‍රසිද්ධ ගායකයෙකු වූ Emmanule Kelly ගේ සංගීත සංදර්ශණයක්ද කොළඹ දී පවත්වන ලදී.

අනාගතයේ දී ශ්‍රීලංකන් කෙයාර්ස් දරුවන්ගේ සුභසාධනය පිණිස වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇති අතර ඒ අනුව මහරගම පිළිකා රෝහලේ බහුවිධි මාධ්‍ය පහසුකම්වලින් සමන්විත අංශයක් ඉදිකිරීමට නියමිතයි. තවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා එක්ව දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය කටයුතු හා ලිංගික අපයෝජනයන් පිටු දැකීම සඳහා වන ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවීමට සැලසුම්කර තිබේ.
එමෙන්ම පාසල් ළමුන් සඳහා වෛද්‍ය සහ සෞඛ්‍ය වැඩමුළු පවත්වමින් ඔවුනට අධ්‍යාපනයක් ලබාදීමට ද කටයුතු යොදා තිබේ.එසේම ළමා චිකිත්සක හා සෞඛ්‍ය කටයුතු සඳහා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කිරීමට ද ශ්‍රීලංකන් කෙයාර්ස් කැපවී සිටියි.

ශ්‍රීලංකන් කෙයාර්ස් ජාතික මෙහෙවරක් ලෙස සළකා උතුම් සමාජ සත්කාර වැඩසටහන්  රාශියක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර දරුවන්ගේ සිහින සැබෑ කරමින් සිදුකරනු ලබන මෙම වැඩසටහන් හරහා බලසම්පන්න අනාගත පරපුරක් බිහිවනු දැකීම එහි බලාපොරොත්තුවයි.

ආයතනික සන්නිවේදන අංශය
ශ්‍රී ලංකන් ගුවන් සමාගම

ඡායාරූප - (වමේ සිට දකුණට) ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල , ශ්‍රීලංකන් කෙයාර්ස් කළමනාකාර නිරෝෂන් රණවක සහ ප්‍රාදේශීය කළමනාකරු/ඉන්දියාව ලලිත් ඩී සිල්වා යන මහත්වරුන් සම්මානය අතැතිව සිටින අයුරු ජායාරූපයෙන් දැක්වෙයි.



Saturday, April 12, 2014

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගුවනේ දී උණුසුම් වායු බැලූනයක් තුළ මංගල්‍යයක්


පසුගිය මාර්තු මස 05 දා ඉහළ අහසේ උණුසුම් වායු බැලූනයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සිදුකරන ලද විවාහ උත්සවය පිළිබඳ තොරතුරු වාර්තා විය. ගුවනේදී සාමාන්‍ය පරිදි උත්සවාකාරයෙන් එම අවස්ථාව සමරන ලද අතර නැවත පොළවට ළඟාවීමෙන් අනතුරුව විවාහ මංගල්‍ය චාරිත්‍ර කටයුතු ද සිදුකර ඇත. 










රාජකීය, ශාන්ත තෝමස් ක්‍රිකට් ගැටුමේ කාසිය ගුවනින් ගෙන එයි

රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාලයන්හි 135 වන ක්‍රිකට් ගැටුම අද උදෑසන කොළඹ, එස් එස් සී ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. එහි ආරම්භය වර්ණවත් කරමින් තරඟයේ කාසියේ වාසිය උරගා බලන ලද කාසිය ගුවනින් රැගෙන එන ලද්දේ ස්කයි ක්ලබ් ආයතනය විසිනි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නාගරිකව ඉදිරිපත් කරන ලද අංගයක් වූ අතර ස්කයි ක්ලබ් ආයතනයේ හිමිකාරීත්වය දරන්නේ සුරේන් ද සිල්වා මහතා විසිනි.

ගුවන් කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර එහි තවත් ආකර්ෂණීය ඉසව්වක් ලෙස පැරාමෝටරින් හඳුන්වාදිය හැක.


වැඩිදුර තොරතුරු සඳහා www.skyclubsrilanka.com වෙත පිවිසෙන්න.